Sunday, August 14, 2016

හිරි ඔතප්

Malsha Gamage


පොතේගුරැ :   සැවත් නුවර වාසී වු එක් කුළ පුත‍්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව යාමෙන්   ශාසනයේ අවුත් මහණ වුණා.එ තෙමේ මහණ වීමට ප‍්‍රථම තමා වසනු පිණිස පන්සලක් ,ගිනිහල් ගෙයක් හා බඩුහල් ගෙයකුත් ඉදි කරනවා.මහණ වු පසු තමා සන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන රුචි වු පරිදි බත් මාළු පිසවා ගෙන අනුභව කරනවා.සිවුරු ආදී  වු බොහෝ පිරිකර එ් භික්ෂුවට තිබුණා.රාති‍්‍රයෙහි එක් පොරෝනයකුත් දහවල් කාලයෙහි තවත පෙරෝනයක් ද අඳිනවා.දිනක් බොහා් දනව්වාසී භික්ෂුන් වහන්සේලා සේනාසන චාරිකාවෙහි පිඬු සිඟා වඩිනා සේක් මේ බහුභාණ්ඩික භික්ෂුවගේ මළුවට ගොස් සිවුරු ආදිය දැක ”මේ කාගේ දැයි විචාරනවා.ඒ බහුභාණ්ඩික භික්ෂුව”ඇවැත්නි මාගේ ය” යනුවෙන් පිළිතුරු දෙනවා.අනතුරුව බහුභාණ්ඩික භික්ෂුව බුුදුන් සමීපයට කැඳවාගෙන යනවා.බුදුරජාණන් වහන්සේ ”මහණ තා බහුභාණ්ඩික වුයේ සැබෑ ද විචාරයි.ඒ බහුභාණ්ඩික භික්ෂුන් වහන්සේ බුදුන් වදාළ බස් අසා කිපී පොරෝනය දමා පියා භය ලැජ්ජා නැතිව පර්ෂද මධ්‍යයෙහි තනි අඳන කඩයෙන් පමණක් සිටිනවා . ඒ සම්බන්ධ අතිත කථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

   ( කුමාරවරු සෙල්ලම් කරන හඬ *
දර්ශන අංක 1 : රජ මාළිගාවේ එළිමහන / දවල්

බිසව :    මහ රජතුමනි,  අර බලන්න .කුමාරවරු තුන් දෙනා සේල්ලම් කරන ලස්සන. ඒ කුමාරවරු අතරේ සිත් ගන්නා ලෙස දුව පැන නටන සූර්ය කුමාරයා හරියට ලා හිරු කිරණක් වගේ. ඇත්තටම මට හරිම ආඩම්බරයි මගේ පුතා ගැන.මහීසාංස වගේම චන්දා කුමාරයත් සුර්ය කුමාරයට ලෙන්ගතු කමෙන් ආදරයෙන් සලකනවා.ඔබතුමාටත් ආඩම්බරයක් නේද


රජතුමා :     ආ.......මාගේ පෙම්බර දේවීය.වැඩිමහල් කුමාරවරු දෙන්නගේ මෑණියෝ නැති වුණාට පස්සේ ඉඳන් ,ඒ අඩුව පිරිමහන්නේත් මගේ මේ දේවියමනේ...ඉතිං මම කල්පනා කළා දේවීය ඉල්ලන  ඕනෑම ඉල්ලීමක් ඉටු කරන්න.තොපගේ පුතණුවන්ට කැමති වරයක ඉල්ලා ගනුව.

බිසව : (තමාටම) රජතුමා මගේ පුතාට ආදරෙයි.කැමති වරයක් ඉල්ලන්න කිව්වා. පුතා තවම පුංචියි.වැඩිවියට පත් වුණාට පස්සේ ම මම ඒක ඉල්ලනවා.ඇරත් ,අනෙක් බිසවගේ   දරුවන්   දරුවන් දෙන්නා මෙය දැන ගත්තොත් කුමක් වේවි ද  (සංගීත ඛණ්ඩයක් ) මහ රජතුමනි ඔබ මට පෙරොන්දුවක් දුන්නා.මගේ සුර්යා කුමාරයා වෙනුවෙන් වරයක් ඉල්ලන්න කියා. ඉතිං රජතුමනි ,මාගේ පුතණුවන්ට රාජ්‍යය පවරා දුන මැනව. එ් වරය ඉල්ලන්න හොඳම අවස්ථාව තමයි මේ.( තමාටම *

රජතුමා :  සොදුර ...මා කෙසේ ද එ් ඉල්ලීම ඉටු කරන්නේ. එය මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ( තමාටම) මො තොමෝ මාගේ වැඩිමහල් දරුවන් දෙදෙනාට අනර්ථයක් කරනු ඇත. ඒ නිසා මම මෙයට සුදුසු උපක‍්‍රමයක් යෙදිය යුතුය.

දර්ශන අංක  2    ප‍්‍රාසාදයේ උඩු මහළ /උදය

පොතේ ගුරු:   මහීසාංස හා චන්දා කුමරු කැඳවයි.

රජතුමා : එම්බා දරුවනි, මට ඔබ දෙපළට පිටු පෑමට නොහැක.දෙවන බිසව         මාගේ   රාජ්‍යය සුර්ය කුමරුට පවරා දෙන ලෙස ඉල්ලනවා. ඒ නිසා ඔබ දෙපළට අනර්ථයක් කරනු ඇතැයි මගේ සිතේ බලවත් දෝමනස්සයක් පවතිනවා.එබැවින් ඔබ දෙපළ  වනාන්තර ගත වී මාගේ ඇවෑමෙන් පසුව රාජ්‍යය භාර ගන්න.          


තේමා වාදනය

පොතේ ගුරු:  මහීසාංස හා චන්දා කුමරු වනාන්තර ගතවෙයි.සුර්ය කුමාරයා ද ඔවුන්
               පසුපස යයි.
 
දර්ශන අංක    3    වනාන්තරය මැද

මහීසාංස කුමාරයා:    මලණුවනි, අපි හිමාල වනයේ බොහෝ තැන් ඇවිද ගෙන ආවා
                       මට නම් හරිම මහන්සියි. .සුර්ය කුමාරයා නාගෙන විලට 
                       ගොස් අපටත් පැන් රැුගෙන එන්න.

තේමා වාදනය

දිය රකුසා :           ආ.....අද මට ගොදුරක් වගේ. මු දේව ධර්මය දන්නේ නම් මගෙන් ගැලවී යන්න  පුළුවන්. නොදන්නෙක් නම් මගේ බඩ කට පුරා කා හැකියි. හහ්..හහ්..හහ් තෝ දේව ධර්මය දන්නේහි ද?
සුර්ය කුමාරයා     දේව ධර්මය නම් චන්දායාත් සුර්යයාත් නේද?


තේමා වාදනය
මහීසාංස කුමාරයා :    මලණුවනි ,චන්දා කුමාරයිනි. තොපගේ මළණුවන් සුර්ය කුමරු මේ තරම් ප‍්‍රමාද වන්නේ ඇයි? යන්න. සුර්ය කුමාරයා සොයා ගෙන එන්න.

දිය රකුසා  :          හහ්  හහ් හා.....තවත් දඩයමක් .තෝ දේව ධර්මය දන්නේහි ද?

චන්දා කුමාරයා:       දේව ධර්මය නම් සතර දිශාවයි.

දිය රකුසා:           තොපි දේව ධර්මය නොදන්නේය.යව දිය යටට ගොස් සැඟවී
                     යනුව.
මහීසාංස කුමාරයා :   ( තමාටම ) එකාන්තයෙන් ම මළණුවන් දෙපළට කිසියම්  අන්තරායක් විය යුතුය. මම ම ගොස් පරීක්ෂා කරන්න  ඕනැ.  ආ..... මේ තියෙන්නේ මළණුවන්ගේ පියවර සටහන්. දිය රකුසෙක් අරක් ගත් විලක් වගේ.

දිය රකුසා :           ආ  ...... තවත් පුරුෂයෙක්. මොහු නම් ටිකක් අමාරුකාරයෙක් වගේ.(තමාටම) මම රඟපෑමක් කරන්න  ඕනෙ.වනාන්තරයේ දැව දඬු කපා ඇවිදින මිනිහෙක් වගේ. පින්වත ඔබ ගමන් විඩාව නිසා මිරිකී ගිය බවක් පේනවා.මේ විලට බැස නා ගෙන පැන් බී නෙළුම් දැලි කා සැත පී යන්න.

මහීසාංස කුමාරයා :   (තමාටම) එ්කාන්තයෙන් ම මොහු දිය රකුසා විය යුතුයි. තොප   මාගේ මළණුවන් දෙදෙනා අල්ලා ගත්තෙහි ද?

දිය රකුසා:      එසේ ය. මම අල්ලා ගත්තා.

මහීසාංස කුමාරයා :   කුමක් නිසා තොප එවැනි දෙයක් කළේ ද?

දිය රකුසා:           මම මේ විලට අධිපති. විලට බට කෙනෙක් තමයි මගේ ආහාරය. ඇරත් මේ විලට බට කෙනෙක් දේව ධර්මය දනී නම් ඔහු ඇර සෙස්සෝ කන්න මට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ.

මහීසාංස කුමාරයා:     තොපට දේව ධර්මයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක් ද? එසේ නම් මම තොප දේව ධර්මය කියමි.

තේමා වාදනය

පොතේ ගුරු:      උදක රාක්ෂයා ,බෝධි සත්වයන්  නහවා පැන් පොාවා මල් පළඳවා සුවඳ විළවුන් ගල්වා සරහන ලද මණ්ඩපයෙහි උතුම් වු පර්යංකයක් අතට දුන්නේ ය. මහ බෝසතාණෝ ඒ පනවන ලද ආසන මස්තකයෙහි ඉඳ යත්ෂයා පා මුල සිටුවා දේව ධර්මය අසන්නට සලස්වයි.

මහීසාංස කුමාරයා :    එම්බා රාක්ෂය, මේ ලෝකයේ යම් කෙනෙක් බය ලැජ්ජා දෙකෙන් යුක්තව වාසය කරයි ද,සෑම කල්හිම කුසල් කරයි ද උතුම් සත් පුරුෂ ගුණ ඇත්තෙහි ද මෙන්න මේ කාරණා දේව ධර්මය වෙනවා

දිය රකුසා :            සාදු   සාදු    සාදු   ඔබ කෙරෙහි මම ඉතාමත් පැහැදුණා.මම එක මලණු කෙනෙක් තොපට දෙමි.

මහීසාංස කුමාරයා:      බාලම මළණුවන් මෙතැනට ගෙනෙව.

දිය රකුසා  :           පණ්ඩිතයෙනි, ඔබ දේව ධර්මය දන්නා කෙනෙක් පමණයි.එය පිළිපඳින බවක් මට පෙනෙන්නේ නෑ.තොප වැඩිමහල් මලණුවන් තබා බාල මලණුවන් ඉල්ලීම නිසා වැඩිහිටියන්ට සැලකීමත් ,ගරු කිරීමත් ඔබ තුළ ඇති බවක් මට දකින්න නැහැ.

මහීසාංස කුමාරයා:      එම්බා යක්ෂය, මම දේව ධර්මයත් දනිමි.දේව ධර්මයේත් පවතිමි.අප මේ වනාන්තරයට ආවේ බාල මළණුවන් නිසාමයි.ඔහුගේ මෑණියන් අප පියාණන් වහන්සේගෙන් දායාද ඉල්ලූවා.අපගේ පියාණන් වහන්සේ ඒ වරය නොදී අප ආරක්ෂා කිරිමට අපට වනාන්තර ගත වෙන්න කිව්වා. ඒ නිසා අප වනාන්තරයට ආවා. අපේ බාල මලනුවන් ද අප සමඟ ආවා. ඉතිං.... බාල මලණුවන් යක්ෂයෙකු අනුභව කලා යයි කීවොත් එය කෙසේ නම් අදහන්නේ ද?මා නින්දාවට බයෙන් බාල මලණුවන් ගෙනෙන්නට තොපට කිමී.

දිය රකුසා:        සාදු  සාදු සාදු  පණ්ඩිතයිනි, ඔබ දේව ධර්මය දන්නා සේක.දේව  ධර්මයේ පවතින සේක. ඔබ වහන්සේගේ මළණුවන් දෙදෙනා මම මේ අවස්ථාවේ නිදහස් කරමි.

මහීසාංස කුමාරයා :  යක්ෂය, තෝ පෙර කල අකුසල කර්මයෙන් අනුන්ගේ ලේ ,ඇඟ මස් කන යක්ෂයෙක් වෙලා ඉපදිලා තියෙන්නේ.එසේ හෙයින් මෙතැන් පටන් අකුසල්  හැර කුසල් දහම් කරව.

තේමා වාදනය

පොතේ ගුරු :   මහීසාංස කුමාරයා පිය රජුගේ ඇවෑමෙන් පසු රජ බවට පත්වේ.

මහීසාංස කුමාරයා :  එම්බා චන්දා කුමරුනි,මම ඔබට යුවරජ තනතුර ප‍්‍රදානය කරනවා. සුර්ය කුමරුනි, ඔබට සෙනෙවි ලත් තනතුර ප‍්‍රදානය කර සිටිනවා. ඔබ දෙපළ යක්ෂයාට දේවාලයක් තනා ඔහුට සෑම දිනකම බත්,මාලූ ,පහන් සුවඳ විළවුන් පුදා නිරන්තරයෙන් පුද සත්කාර කරනු.  

                                                                                                                                                                                                                        පොතේ ගුරු :    බුදුරජාණන් වහන්සේ අතීත කථාවත් වර්තමාන කථාවත් දෙක එක් කොට  පූර්වාපර සන්ධි ගළපා මේ දේව ධර්ම ජාතකය නිමවා  වදාළ සේක. එ සමයෙහි උදක රාක්ෂයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය. සුර්ය කුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය.චන්දා කුමාරයෝ නම් ශාරිපුත‍්‍ර ස්ථවිරයෝය. මහිසාංස කුමාරයෝ නම් තිලෝගුරු සම්‍යක් බුදුරජාණන් වහන්සේය. යනුවෙන් වදාළ සේක.


            නිමි




                                                                                                                                                                                               




                                                                                                                                                                                                                       




9 comments:

Powered by Blogger.